Monday, October 26, 2020

ජපන් ආහාර සංස්කෘතිය - ෂොකුජිමනා  

ජපන් ක්‍රමයට ආහාර ගනිමු 





ලෝකයේ විවිධ රටවලට ආවේණික ආහාරපාන වර්ග දක්නට ඇති අතර ඒ හා බැඳුනු ආහාර සංස්කෘතීන් ද  නිර්මාණය වී ඇත.  ආහාර වර්ග, ආහාර ගැනීමේ ක්‍රමයන්, ආහාර ගැනීමේදී භාවිතා කරන උපකරණ, අමුද්‍රව්‍ය හා දිනකට ආහාර ගන්නා වාර ගණන පවා රටකින් රටකට වෙනස් බව ලෝක ආහාර සංස්කෘතීන් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ. 

ආහාර සංස්කෘතියෙහි විචිත්‍රත්වය සහ විවිධත්වය ගෙන බැලූ කල්හි පෙරදිග ලෝකයෙහි රටවල් අතර ජපානයට විශේෂ ස්ථානයක් හිමි වේ. සෂිමි. සොබා. යකිතොරි. යකිනිකු, උදොන්, රාමෙන්,ඔනිගිරි. ආදී ජපානයට ආවේණික ආාහාරපාන වර්ග රාශියක් දක්නට ඇති අතර. විශේෂිතම දෙය නම් වෙනත් සංස්කෘතීන් තුළ දක්නට නැති ආහාර ගන්නා අවස්ථාවලදී භාවිතා කරන ආචාරශීලි වචන කිහිපයක් දක්නට ලැබීමයි.
ඉහත වීඩියෝව උපයෝගී කරගෙන ජපන් ආහාර කලාව පිළිබඳ කෙටි අවබෝධයක් ලබාගනිමු.

01. ඔෂිබොරි - ඔබ ජපානයේ අවන්හලක ආහාර ගැනීමට යන්නේ නම් ආහාර ගැනීමට ප්‍රථම ඔබගේ දෑත් පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙන උණුසුම් හෝ සීතල අත්පිස්නාව

02. කෑම ගැනීමට ප්‍රථම දෑත් පපුව ළඟට ගෙන එකතු කර “ඉතදකිමස්“ යනුවෙන් ප්‍රකාශ කර ඔබ ගන්නා ආහාරවලට ආචාර කළ යුතුය.

03.ඔබට ජපානයේදී අතින් ආහාර ගැනීම සුදුසු නොවේ. එබැවින් හෂි (ජපන් ජාතිකයන් ආහාර ගැනීමේදී භාවිතා කරන විශේෂ ලීකූරු හඳුන්වන වචනය) භාවිතා කිරීම හුරු වීමට සිදු වේ. අතින් හෂි හසුරුවන ආකාරය පිළිබඳ ඉහත වීඩියෝව නැරඹීමෙන් අවබෝධයක් ලබාගන්න.
ඉහත ක්‍රමයට අමතරව හෂි හසුරුවන තවත් ක්‍රම කිහිපයක් ඇත.

නිගිරිහෂි             -     අත මිටමොළවන සේ හෂි අල්ලා ආහාර ගැනීම
කුරොසුහෂි          -    හරස් ආකාරයට හෂි අල්ලා ආහාර ගැනීම
නිතෝර්යූ            -    අත්දෙකෙන් හෂි කූරු දෙක අල්ලා ආහාර ගැනීම

04.ආහාර බඳුන් අතට ගෙන ආහාර ගැනීම - ජපානයට විශේෂිත වූ ආහාර බඳුන් දක්නට ඇති අතර,  ආහාර බඳුන එක අතකට ගෙන අනිත් අතින් හෂි භාවිතා කරමින් ආහාර ගැනීමට හෝ අත්දෙකෙන්ම බඳුන් අල්ලා ගෙන ආහාර ගැනීමට ඔබට හුරු වීමට සිදු වේ. එහෙත් රාමෙන් හෝ උදොන් වැනි ආහාර දමා ඇති බඳුන් බර වැඩි බැවින් තනි අතින් ගෙන ආහාර ගැනීම අපහසු බැවින් එසේ කිරීමෙන් වැළකිය යුතුය.

05.වැලමිට මේසය උඩ තබා ආහාර ගැනීම ජපන් ජාතිකයන්ට අනුව අප්‍රසන්න භාවයක් ඇති කරවන බැවින් එයින් වැළකීමට සිදු වේ.

06.බඳුන්වල ආහාර ඉතිරි කර නොතැබීම.- තමන්ට ලැබෙන ආහාර ඉතිරි නොකර සම්පූර්ණයෙන්ම අනුභව කිරීම ආහාර සකස් කර දුන් පුද්ගලයාට කරන ස්තූති කිරීමක් ලෙස ජපන් ජාතිකයෝ සළකති.එබැවින් තමන්ට ලැබෙන ආහාර ඉතිරි නොකර අනුභව කිරීමට පුරුදු විය යුතුය.එසේම තමන් කෑමට අකමැති හෝ අපහසු ආහාර වර්ග තිබේනම් පරීක්ෂා කර බලා තමන් ඒවා ආහාරයට නොගන්නා බව ඇණවුම් කිරීමට පෙර දැන්විය යුතුය.

07.ආහාර ගැනීමෙන් පසු ආචාර කිරීම -  ජපන් ජාතිකයෝ ආහාර අනුභව කිරීමෙන් පසු “එය රසවත් ආහාරයක්“ යන අර්ථය ඇති “ගොචිසෝසමදෙෂිත“  යනුවෙන් කියා ස්තූති කරති. මෙම සම්ප්‍රදායන් ජපන් ජාතිකයන්ටම ආවේණික සංස්කෘතික ලක්ෂණයෝය.