Saturday, December 5, 2020

මින්නනො නිහොන්ගො 09 පාඩම

වචන මාලාව

වකරිමසු - තේරෙනවා    -        අරිමසු - තිබෙනවා
සුකින - කැමති                -        කිරඉන - අකමැති
ජෝසුන - දක්ෂ                -       හෙතන - අදක්ෂ
ර්යෝරි - කෑම                -        නොමිමොනො - බීමවර්ග
සුපෝත්සු - ක්‍රීඩා            -        යක්යූ - බේස්බෝල්
දන්සු - නැටුම්                -         න්ගකු - සංගීතය
උත - සිංදු                    -           කුරෂික්කු - සම්භාව්‍ය
ජසු - ජෑස් සංගීතය        -          කොන්සාතො - විවිධ ප්‍රසංගය
කරඔකෙ - කැරෝකෙ    -        කබුකි - කබුකි නාට්‍ය
එ - චිත්‍ර                           -        ජි - අකුරු
කන්ජි - කන්ජි අකුරු       -      හිරගන - හිරගන අක්ෂර
කතකන - කතකන අක්ෂර    -    රෝමජි - රෝමන් අක්ෂර
කොමකයි ඔකනෙ         -             සිල්ලර කාසි
ජිකන් -    වේලාව        -    චිකෙත්තො - ටිකට්
යෝජි - වැඩ                   -    යකුසොකු - පොරොන්දුව
ගොෂුජින් - වෙනත් කෙනෙකුගේ සැමියා. 
ඔත්තො/ෂුජින් - තමන්ගේ සැමියා
ඔකුසන් - වෙනත් කෙනෙකුගේ භාර්යාව
ත්සුම/කනයි - භාර්යාව    -    කොදොමො - ළමයා
යොකු - හොඳයි    -        දයිතයි - සාමාන්‍යයෙන්
තකුසන් - ගොඩාක්   -    සුකොෂි - ටිකක්
සෙන්සෙන් - කොහොමවත්      හයකු - ඉක්මණින්
---කරා - නිසා            දෝෂිතෙ? - ඇයි?
සන්නෙන් දෙසුනෙ - ඒක කණගාටුදායක කරුණක් නේ.
‍මොෂි මොෂි - හෙලෝ(දුරකතනයෙන්)
සුමිමසෙන් - සමාවන්න
ඉෂ්ෂොනි ඉකගදෙසුක? -  කථකයා සමඟ යම්කිසිවක් කිරීම සඳහා ආරාධනා කිරීම(යූෂොකු ඉෂ්ෂොනි ඉකගදෙසුක? මාත් එක්ක රාත්‍රි ආහාරය ගන්න කැමතිද? කොන්සාතො ඔ ඉෂ්ෂොනි ඉකගදෙසුක? මාත් එක්ක විවිධ ප්‍රසංගය බලමුද?)
------වා චොත්තො.    -    යම්කිසිවක් කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමේදී ප්‍රකාශ කෙරේ.
දමෙ දෙසු    -       යම්කිසිවක් හොඳ නැහැ. ඵල රහිත දෙයක්, නොකළ යුතු දෙයක් යන තේරුම දේ.
මත කොන්දො ඔනෙගයිෂිමසු - ඊළඟ වාරයේදී ඒක කරමු යන අදහස ( හිත නොරිදෙන ලෙස වක්‍රාකාරයෙන් අරාධනාවක් ප්‍රතික්ෂේප කිරීම)

ව්‍යාකරණ රටා

............は................  が あります 。           ...........වා..........+ග අරිමසු
( යම්කිසි දෙයක් තමන් ළඟ තිබෙන බව ප්‍රකාශ කිරීම)
(හිස්තැන්වලට ගැළපෙන නාමපද යොදා වාක්‍ය සාදා ගත හැකිය)
සකර්මක වාක්‍යයක කර්මපදය සමඟ“ඔ“ නිපාත පදය යෙදේ. එහෙත් මෙහිදී “අරිමසු“ ක්‍රියාපදය සමඟ යෙදෙන්නේ “ග“නිපාත පදයයි.

වතෂිවා ඔකනෙ ග අරිමසු    -    මගේ ළඟ මුදල් තිබෙනවා
වතෂිවා කුරුම ග අරිමසු    -    මට කාරයක් තිබෙනවා.
වතෂිවා හොන් ග අරිමසු    -    මට පොතක් තිබෙනවා.

...........は.........が わかります 。                 ............වා...........+ග වකරිමසු  
(යම්කිසි දෙයක් තමන්ට තේරෙන බව ප්‍රකාශ කිරීම) 
(හිස්තැනට ගැළපෙන නාමපද යොදා වාක්‍ය සාදා ගත හැකිය)
මෙම වාක්‍ය රටාවේදී ද වකරිමසු - තේරෙනවා යන ක්‍රියාපදය සමඟ යෙදෙන්නේ “ග“නිපාත පදයයි.

වතෂිවා නිහොන්ගො ග වකරිමසු - මට ජපන් භාෂාව තේරෙනවා
වතෂිවා කන්ජි ග වකරිමසු - මට කන්ජි අක්ෂර තේරෙනවා.

............は..........が すきです / が きらいです / が じょうずです /が  へたです
.............වා..........ග සුකිදෙසු /ග කිරයි දෙසු / ග ජෝසුදෙසු /ග හෙතදෙසු.
( යම්කිසිවකට කැමතියි/ අකමැතියි / දක්ෂයි / අදක්ෂයි යනුවෙන් ප්‍රකාශ කිරීමේදී එම වචන සමඟ “ග“නිපාත පදය යෙදෙන අතර සාමාන්‍යයනේ කර්ම පදය සමඟ යෙදෙන “ඔ“නිපාත පදය භාවිතා නොවේ.)

වතෂිවා නිහොන් ර්යෝරි ග සුකිදෙසු    -    මම ජපන් කෑමවලට කැමතියි.
වතෂිවා එයග ග සුකිදෙසු.                       -    මම චිත්‍රපට බැලීමට කැමතියි.

ඔතෝතොවා සුපෝත්සු ග කිරයිදෙසු      -    මල්ලී ක්‍රීඩාවලට අකමැතියි.
වතෂිවා සකෙ ග කිරයිදෙසු.                    -    මම සකේවලට අකමැතියි.

වතෂිවා හිරගනා ග ජෝසුදෙසු.               -    මම හිරගනවපට දක්ෂයි.
වතෂිවා එයිගො ග ජෝසුදෙසු.               -     මම ඉංග්‍රීසි භාෂාවට දක්ෂයි.

වතෂිවා කන්ජි ග හෙතදෙසු.                   -     මම කන්ජිවලට අදක්ෂයි.
වතෂිවා නිහොන්ගො ග හෙතදෙසු.        -       මම ජපන් භාෂාවට අදක්ෂයි. 

どんな+Noun    -    දොන්න + නාමපද    (කුමන ආකාරයේ/මොන වගේ / මොන විධියේ)
08 වන පාඩමේදී අපි ඉගෙන ගත් “දොන්න“ යන වචනයට වඩා වෙනස් භාවිතාවක් පිළිබඳ මෙම පාඩමේදී විස්තර කෙරේ. මෙහිදී කණ්ඩායමකින් හෝ සමූහයකින් එක්දෙයක් තෝරාගන්නා ලෙස අසන්නාගෙන් ඇසීමේදී “දොන්න“ යන වචනය භාවිතා කරනු ලැබේ. උදාහරණයක් ලෙස “ක්‍රීඩාවන් අතරින් කුමන ක්‍රීඩාවටද ඔබ කැමති?“යනුවෙන් අසන්නේ “දොන්න“ යන වචනය වාක්‍යයෙහි මුලට යොදාගෙනය.ඒ අනුව එම වාක්‍ය ජපන් භාෂාවෙන් අසනුයේ “දොන්න සුපෝත්සු ග සුකිදෙසුක?“ යනුවෙනි. මෙහිදී අසන්නාට ක්‍රීඩා අතරින් තමන් කැමති කුමන ක්‍රීඩාවටද යන්න ප්‍රකාශ කළ යුතු වේ. “මම පාපන්දු ක්‍රීඩාවට කැමතියි“ “සක්කා ග සුකිදෙසු“
දොන්න නොමිමොනො ග සුකිදෙසුක?    -    මොන වගේ බීමවලටද කැමති?
සකේ ග සුකිදෙසු.                                   -     සකේවලට කැමතියි.
දොන්න ර්යෝරි ග සුකිදෙසුක?               -     මොන වගේ කෑමවලටද කැමති?
නිහොන් ර්යෝරි ග සුකිදෙසු.                  -     ජපන් කෑමවලට කැමතියි.
දොන්න එඉග ග සුකිදෙසුක?                   -     මොන වගේ චිත්‍රපටවලටද කැමති?
රොමන්චික්කු ග සුකිදෙසු.                      -     ආදරකතාවලට කැමතියි.
දොන්න ඔන්ගකු ග සුකිදෙසුක?              -     මොන වගේ සංගීතයටද කැමති?
කුරෂික්කු ග සුකිදෙසු.                             -      සම්භාව්‍ය සංගීතයට කැමතියි.

 よく/ だいたい / たくさん / すこし / あまり / ぜんぜん - ක්‍රියා විශේෂණ පද
 යොකු / දයිතයි / තකුසන් / සුකොෂි / අමරි / සෙzන්සෙzන්
මෙම ක්‍රියාවිශේෂණ පද යම්කිසි තත්වයක් හෝ යම්කිසි දෙයක ප්‍රමාණයක් ගැන ප්‍රකාශ කිරීමේදී ක්‍රියාපදයට මුලින් යෙදී ක්‍රියාව විස්තර කරයි. යොකු/දයිතයි/තකුසන්/සුකොෂි ඇත ්අර්ථයෙහි භාවිතා වන අතර,අමරි/සෙzන්සෙzන් නැත අර්ථයෙහි භාවිතා වේ.

යම්කිසි තත්වයක් පිළබඳ විස්තර කිරීමේදී
යොකු -   හොඳින් / හොඳට
තනකසන්වා නිහොන්ගො ග යොකු වකරිමසු.
තනකසන්ට ජපන් භාෂාව හොඳට තේරෙනවා.

දයිතයි -    සාමාන්‍යයෙන්
තනකසන්වා නිහොන්ගො ග දයිතයි වකරිමසු.
තනකසන්ට ජපන් භාෂාව සාමාන්‍යයෙන් තේරෙනවා.

සුකොෂි    -    ටිකක්
තනකසන්වා නිහොන්ගො ග සුකොෂි වකරිමසු.
තනකසන්ට ජපන් භාෂාව ටිකක් තේරෙනවා .

අමරි    -   ඒතරම්/එච්චර
තනකසන්වා නිහොන්ගො ග අමරි වකරිමසෙන්.
තනකසන්ට ජපන් භාෂාව ඒතරම් තේරෙන්නේ නෑ.

සෙzන්සෙzන්    -    කොහොමවත්
තනකසන්වා නිහොන්ගො ග සෙzන්සෙzන් වකරිමසෙන්.
තනකසන්ට ජපන් භාෂාව කොහොමවත් තේරෙන්නේ නෑ.

යම්කිසි දෙයක ප්‍රමාණයක් පිළිබඳ විස්තර කිරීමේදී
තකුසන්    -    ගොඩාක්
ඔකනෙ ග තකුසන් අරිමසු
සල්ලි ගොඩාක් තිබෙනවා

සුකොෂි    -    ටිකක්
ඔකනෙ ග සුකොෂි අරිමසු
සල්ලි ටිකක් තිබෙනවා

අමරි     -    ඒතරම්/එච්චර
ඔකනෙ ග අමරි අරිමසෙන්
සල්ලි එච්චර නෑ

සෙzන්සෙzන්    -    කොහොමවත්
ඔකනෙ ග සෙzන්සෙzන් අරිමසෙන්
සල්ලි කොහොමවත් නෑ

මෙයට අමතරව සුකොෂි .අමරි.සෙzන්සෙzන්. යන ක්‍රියා විශේෂණ පද නාම විශේෂණ පදවලට මුලින් යෙදී නාම විශේෂණ පදය විස්තර කරන අවස්ථා ද දක්නට ලැබේ.
කොකොවා සුකොෂි සමුයි දෙසු.
මෙතැන ටිකක් සීතලයි.
අනො එයිග වා අමරි ඔමොෂිරොකුනයි දෙසු.
ඒ චිත්‍රපටය එච්චර රසවත් නොවේ..
අනො එයිග වා සෙzන්සෙzන් ඔමොෂිරොකුනයි දෙසු.
ඒ චිත්‍රපටය කොහොමවත් රසවත් නොවේ.

.........から,   ...........。    ................කරා...................( නිසා)
“කරා“යන වචනයෙහි තේරුම “නිසා“යන්න වන අතර, වාක්‍ය දෙකක් සම්බන්ධ කිරීමේදී භාවිතා වේ.
 මෙහි “කරා“ වලට පසුව එන වාක්‍යයෙන් ප්‍රකාශ කරන දෙය සිදුවීමට හේතුව “කරා“වලට මුලින් ඇති වාක්‍යයහෙි විස්තර වේ.
ජිකන් ග අරිමසෙන් කරා, ෂින්බුන් ඔ යොමිමසෙන්.
වේලාව නැති නිසා, පත්තර කියවන්නේ නෑ.
ඉසොගෂියි දෙසු කරා, තෙරෙබි ඔ මිමසෙන්.
කාර්යබහුල නිසා, රූපවාහිනියි නරඔන්නේ නෑ.

............。   ..................から.       ............    ................කරා.(නිසා)
මෙහිදී දෙවැනි වාක්‍යය මුලට ගෙන මුල් වාක්‍යය“කරා“සමඟ දෙවනුව භාවිතා කළ හැකිය. විශේෂයෙන්ම ප්‍රශ්නයකට පිලිතුරක් ලබාදීමේදී මෙම ආකෘතිය භාවිතා වේ.
ෂින්බුන් ඔ යොමිමසෙන්. ජිකන් ග අරිමසෙන් කරා.
පත්තර කියවන්නේ නෑ. වේලාව නැති නිසා.

දෝෂිතෙ කිනෝ හයකු කඑරිමෂිතක?
ඇයි ඊඊයෙ වේලාසනින් ගියේ?
යෝජි ග අරිමෂිතකරා.
වැඩක් තිබුණු නිසා

どうして?  -      දෝෂිතෙ   -      ඇයි?
“දෝෂිතෙ“ යන ප්‍රශ්නාර්ථවාචී පදය යම්කිසිවක් කිරීම සඳහා හේතුව විමසීමේදී භාවිතා කරන අතර, පිලිතුරු ලබාදීමේදී වාක්‍යය අගට “කරා“ එකතු කළ යුතුය.
දෝෂිතෙ තෝක්යෝ එ ඉකිමසෙන්ක?  -  ඇයි තෝක්යෝවලට යන්නේ නැත්තේ?
යකුසොකු ග අරිමසුකරා.                      -  වෙනත් කෙනෙකු සමඟ වැඩක් යොදාගෙන තිබෙන නිසා.

どうしてですか    -    දෝෂිතෙදෙසුක     -    ඇයි? 
අනෙක් පුද්ගලයා යම්කිසි දෙයක් ප්‍රකාශ කළ විට “ඇයි එහෙම කියන්නේ“ යනුවෙන් ඇසීමේදී මෙය භාවිතා කෙරේ.
ක්යෝවා හයකු කඑරිමසු.    -    අද වේලාසනින් යනවා.
දෝෂිතෙ දෙසුක?                -    ඇයි?
මුසුකො නො තන්ජෝබි දෙසුකරා.    -    පුතාගේ උපන් දිනය නිසා